මූලික ප්‍රශ්න විසදීම සඳහා සියලුම අංශවල සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවට ජාතික අධිෂ්ඨානයක්

සැප්තැම්බර් 29, 2022

•    15 වැනි කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ආරම්භ වේ.

අතීතයේ සහ මෑතකාලීන පාඩම් මතකයේ තබාගනිමින් උපායමාර්ගික ස්ථාවරයක වත්මන් ආණ්ඩුවේ නව නායකත්වය සමඟ සිවිල් සංවිධාන, ආරක්‍ෂක ආයතන ඇතුළු ශ්‍රී ලාංකීය සමාජයේ සියලුම අංශවල ජාතික අධිෂ්ඨානයක අවශ්‍යතාවය අවධාරණය කරමින් ඒ සඳහා ජාතික අනන්‍යතාව, ජාතික සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය, පාලන ව්‍යුහය, ආර්ථික පුනර්ජීවනය වැනි මූලික කරුණු සාකච්ඡා කිරීමට දේශපාලන ආයතන සහ ව්‍යාපාරික සංගම් එකතු වී සාකච්ඡා  කලයුතු බව ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (සැප්. 29) පැවසීය.

පොදු අරමුණක් සඳහා මෙය රටේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන නැවත නීත්‍යානුකූල කිරීම සහ සම්මුතිය ගොඩනැගීමේ මූලික පියවරක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ඉන්දීය ජනරජයේ හිටපු වාණිජ, නීතිය සහ අධිකරණ අමාත්‍ය ගරු මහාචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා මෙම අවස්ථාවට ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වූ අතර, මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කරන ලද ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් එතුමා වෙත සිය කෘතඥතාව ද පළ කළේය.

මෙවර ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ‘ආර්ථික පුනර්ජීවනය, ජාතික ආරක්‍ෂාව සහ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන ප්‍රගතිය තුළින් තිරසාර බව’ නැමැති කාලෝචිත තේමාව යටතේ පැවැත්වේ.

බුද්ධිමය සාකච්ඡා මගින් දැනුම පුළුල් කර ගැනීමට මේ සඳහා සහභාගී වන සියලුම දෙනාට මෙය ඉතා ප්‍රයෝජනවත් වන අතර, අදාළ ක්ෂේත්‍රවල ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් සමඟ පුළුල් අන්තර් ක්‍රියාකාරිත්වයක් සහ ජාලගතවීමක් සඳහා මෙය අවස්ථාවක් වන බව ජෙනරල් ගුණරත්නගේ අදහසයි.
 
වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජෙනරල් ගුණරත්න සඳහන් කළේ, රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ජාතික ගිවිසුමකට පදනම වන්නේ එවැනි උත්සාහයක් පදනම් කරගත් ක්‍රියාවලියකින් පමණක් නොව, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් පිළිබඳව නිසි සැලකිල්ලක්‌ දක්‌වමින් ආරක්‍ෂිත රටක්‌ ස්‌ථාපිත කිරීම තුළින් ආර්ථික පුනර්ජීවනය සහ තිරසාරභාවය කරා සමාජය තුළ සිටින සෑම කණ්ඩායමකටම විශේෂයෙන්ම, ආයෝජකයින්ට රාජ්‍ය ගොඩනැගීමේ ප්‍රයත්නයට සක්‍රීයව සහභාගි වීමට යොමුකිරීම බවයි.

තවද, රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා සමාජය කෙරෙහි ලෝක ප්‍රතිරූපය ඉහළ නැංවීමට ආර්ථිකය, ආයතන ගොඩනැගීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍රවල ඉහළ ප්‍රමුඛතා මුලපිරීම් යථා තත්ත්වයට පත් කිරීමට රජය අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

 ගෝලීයකරණයේ ප්‍රතිවිපාක පිළිබඳව සිය අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට බලපාන ජාත්‍යන්තර අන්තර් යැපීම් මෙන්ම ආර්ථික හා දේශපාලන ඇඟවුම් මගින් මතුවූ මෑත කාලීන තත්වය සැලකිල්ලට ගෙන ජාතික ආර්ථිකයේ පුනර්ජීවනය සහ තිරසාරභාවය සඳහා වන ආරවුල් අතරතුර පැන නැගිය හැකි ජාතික ආරක්‍ෂාවට ඇති විය හැකි අවදානම් තක්සේරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සම්මන්ත්‍රණයේ අවධානය යොමු කරන ලදි.

ශ්‍රී ලංකා සමාජයේ ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා ඇතැම් අංශවල වැදගත්කම සැලකිල්ලට ගෙන, තාක්‍ෂණික, විද්‍යාත්මක සහ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනයට සහ තිරසාරභාවයට බලපෑම් කළ හැකි තර්ජන පිළිබඳ ගැඹුරු සංකල්පීය අවබෝධයක් අවශ්‍ය බවත් එහි නව්‍ය පැතිකඩ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇති බවට ඔහු විශ්වාස කරන බවද පැවසීය.

අවසාන වශයෙන් ඔහු කියා සිටියේ, වත්මන් සන්දර්භය තුළ, ජාතියක් ලෙස තාක්‍ෂණික නවෝත්පාදන මායිම් හරහා ආර්ථික පුනර්ජීවනය, ජාතික ආරක්‍ෂාව සහ තිරසාරභාවය පිළිබඳ විශිෂ්ටත්වය ළඟාකර ගැනීමට අප උත්සාහ කරන බවයි. තවද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ සම්මන්ත්‍රණ සංවිධායකයින් වෙත සිය කෘතඥතාවද මෙහිදී පළ කලේය.

ජාතික ආරක්‍ෂාවට රටේ විශාලත්වය නොව තාක්‍ෂණය වැදගත් බව අවධාරණය කරමින් ප්‍රධාන දේශකයා සඳහන් කළේ, ජාතික ආරක්‍ෂාව පිළිබඳ නව සංකල්පයේ තිරසාර බවෙහි වටිනාකම  පිළිබඳ ද පැවසීය.
 
ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ජාතික ඩිජිටල් ගබඩා මධ්‍යස්ථානය (National Digital Repository Centre) විවෘත කිරීම ද මෙහිදී සිදුවිය.    

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් උපකුලපති මේජර් ජෙනරල් පීරිස් විසින් පිළිගැනීමේ දේශනයෙන් සමාරම්භක උත්සවය ආරම්භ කළ අතර, උත්සවයේ වැදගත්කම සහ රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා එහි අදාළත්වය ඉස්මතු කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් ඔහු ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හා නාවික හමුදාපතිවරුන්, වෙනත් විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්, මිත්‍ර රටවල කථිකයන්, කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ හිටපු සේනාවිධායකවරුන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් හිටපු කුලපතිවරුන් සහ උපකුලපතිවරුන්, මෙට්‍රොපොලිටන් කැම්පස් හි මණ්ඩපාධිපති, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් දක්ශිණ මණ්ඩපාධිපති, නියෝජ්‍ය උපකුලපතිවරුන්, සියලුම පීඨාධිපතිවරුන් සහ අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ උසස් පොලිස් නිලධාරීන් වැනි සම්භාවනීය ආරාධිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.