දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව
එක්ව කටයුතු කරනු ලබයි - ආරක්‍ෂක ලේකම්

ඔක්තෝම්බර් 26, 2022

විවිධ ජාතීන් එකට ජිවත් වන අප රටේ ජාතීන් අතර සාමකාමීව, සහජීවනයෙන්, එකමුතුකමින් ජීවත්විය හැකි ක්‍රියාදාමයක අවශ්‍යතාව ඉතිහාසයේ කිසිම කාලයකටත් වඩා වර්තමානය දැඩිවම දැනෙන යුගයක් වන අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.

ජාතීන් අතර සහජීවනය ගොඩ නැගීම සඳහා රටේ ස්ථිර සාමය උදා වීමෙන් පසුව රජය ගෙනයන වැඩපිළිවෙලට සහායක් වෙමින් උතුරු නැගෙනහිර පළාත් ද, ඇතුළත්ව ජාතික ශිෂ්‍යභට බලකාය නිහඬ සේවයක් කරනු ලබයි.

ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පලකලේ අද (ඔක්තෝබර් 26)දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන්ලෝස්, ද සොයිසා අභියෝගතා කුසලාන 105 වන කඳවුර - 2022 හි විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

පාසල් අවධියේදී ශිෂ්‍යභට ක්‍රියාකාරකම් සඳහා යොමු වු දුවාදරුවන් වැඩිහිටියන් ලෙස සමාජගතවීමේදී ඔවුන් තුළ නායකත්ව ගුණාංග, විනයගරුක බව, තම රාජකාරීන් නොපසුබටව ඉටුකිරීම, අභියෝගවලට මුහුණ දීමට ඇති හැකියාව සහ ආත්ම විශ්වාසය සහිතව ජිවත්වීමේ හැකියාවක් අත්පත් කරගන්නා බවට සමාජයේ විශාල මතයක් පවතින අතර, මෙම ශිෂ්‍යභට බලකා දුවා දරුවන් තුළින් එය සත්‍යක්ම බව මනාවට පිළිඹිබු වන බව ද මෙම උත්සවයේදී ආරක්‍ෂක ලේකම්රයා පැවසීය.

මෙම ජාතික ශූරතාවයේ ජයග්‍රහණ ලැබු සියලුම පාසල්වල දුවා දරුවන්ට මෙන්ම මෙම තරඟ සඳහා සහභාගි වී ඉතා දක්‍ෂ ලෙස තරඟ වැදුනු අනෙකුත් සියලුම ශිෂ්‍යභට ඛණ්ඩවලටද සිය සුභපැතුම් පිරිනමන ලද ආරක්‍ෂක ලේකම්, මෙම දුවා දරුවන් ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු කටයුතු සඳහා යොමු කිරීම සහ ඔවුනට යෝධ ශක්තිය වීම වෙනුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් වෙත ද සිය ගෞරවය හා ප්‍රශංසාව පුද කරන ලදි.

ජාතික ශිෂ්‍යභටයින් අමතමින් තවදුරටත් අදහස් දැක්වූ ජෙනරල් ගුණරත්න කියා සිටියේ අනාගතයේ රැකියා ලෝකය දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවත් ඒ අනුව කෘතිම බුද්ධිය, බුද්ධිමය ස්වයංක්‍රිය කරණය, රොබෝ තාක්‍ෂණය ආදී ඩිජිටල් තාක්‍ෂණික ක්‍රමවේද අනාගතයේ රැකියා සඳහා වැඩි වශයෙන් භාවිතා වන බැවින් එම ලෝකයට මුහුණදීම සඳහා අප දූ දරුවන් වර්තමානයේ සිටම සුදානම් විය යුතු බවත්වය.

“ඩිජිටල් සාක්‍ෂරතාවය, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහ අනාගතයේදී බිහිවන ඕනෑම පරිසරයකට අනුවර්ථනය වීම සඳහා ඔබගේ දෘඩ මෙන්ම මෘදු කුසලතා ද වර්ධනය කරගත යුතුයි. ඔබගේ ශිෂ්‍යභට පුහුණුව දෙස විමර්ශනාත්මකව බැලීමේදී එම කුසලතා අතර සාර්ථක ජීවිතයක් ගතකිරීම සඳහා වර්ධනය කරගත යුතු මෘදු කුසලතා ප්‍රායෝගිකවම ශිෂ්‍යභටයන් තුළ සංවර්ධනය වන බව පැහැදිළි වෙනවා. පුහුණුව තුළින් ලබන පන්නරය හා ශික්‍ෂණය භාවිතා කර අවශ්‍ය අනෙකුත් කුසලතා ද වර්ධනය කරගන්නා මෙන් මා මේ අවස්ථාවේදී ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.” යැයි පැවසීය.

“ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මා ඉතා සමීපව හා ඕනෑකමින් ශිෂ්‍යභට බලකායේ ක්‍රියාකාරකම් පිළිබඳ විමසිල්ලෙන් සිටිනවා. අවශ්‍ය මඟපෙන්වීම හා උපදෙස් ලබාදීම සිදුකරනු ලබනවා” , යනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

මෙම උත්සවයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ, මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයසුන්දර විසින් පිළිගන්නා ලද අතර, ඔහු වෙත වර්ණවත් සහ අභිමානවත් කඳවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් හර්මන්ලෝස් සහ ද සොයිසා ඛණ්ඩවල ජයග්‍රාහකයන්ට පදක්කම් ප්‍රදානය කළ අතර,අනතුරුව ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.

තූර්ය වාදක සංදර්ශනය සහ සරඹ සංදර්ශනය ශිෂ්‍යභටයින්ගේ වර්ණවත් සහ අභිමානවත් විසිර යාමේ පෙළපාලිය වර්ණවත් කළේය.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය, ජාතික බුද්ධි ප්‍රධානී, යුද හා නාවික හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, රාජ්‍ය නිලධාරීන්, ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ පුහුණු කාර්ය මණ්ඩලය, සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්, විදුහල්පතිවරුන්, ආරාධිතයින් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.