රණවිරු සේවා අධිකාරියේ වැඩකටයුතු ආරක්‍ෂක ලේකම්ගේ අධීක්ෂණයට

ඔක්තෝම්බර් 28, 2022

රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට අද (ඔක්තෝබර් මස 28 ) පැමිණි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න රණවිරු සේවා අධිකාරියේ වර්තමාන කටයුතු අධීක්‍ෂණය කල අතර සහ ප්‍රගති සමාලෝචනයකටද එක් විය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ආරක්‍ෂක ලේකම් ඉතා උණුසුම් අයුරින් රණවිරු සේවා අධිකාරි පරිශ්‍රය වෙත පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සහ ආරක්‍ෂක ලේකම් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය, ඉදිරි දැක්ම සහ රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් මෙන්ම මින් පෙර සිදුකරන ලද සංචාරයේ දී ලබාදුන් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සිදුකරන ලද ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

මෙම ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් විසින් රණවිරු සේවා අධිකාරියේ විවිධ අංශ සහ ආයතන වල ප්‍රගතිය සහ ඔවුන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

මෙහිදී රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) විසින් පසුගිය වසර හතර පිළිබඳව සංසන්දනාත්මක ප්‍රගති සමාලෝචන වාර්තාවක් සහ බලාපොරොත්තු වන ඉලක්ක සම්බන්ධයෙන් මෙන්ම රණවිරු ප්‍රජාව වෙනුවෙන් දැනට සිදුකරගෙන යන සුබසාධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

මෙම සංචාරය සිහිවීම පිණිස ආරක්ෂක ලේකම් තුමන් හට රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත සවි බල ගන්වන ලද සාර්ථක ව්‍යවසායකයන් විසින් වෙළඳපොලේ අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබෙන රණවිරු නිෂ්පාදන ඇතුළත් බහාලුමක් එම නිෂ්පාදනයන්හි අලෙවි ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධානය කරන ලදී.