වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්ෂකයින් විසින් රුසියානු යුවලක් බේරාගනී

ඔක්තෝම්බර් 31, 2022

මිරිස්ස වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔක්තෝම්බර් 29 වන දින සිදු කරන ලද මෙහෙයුමක් මගින් මුහුදේ ගිලීමට ගිය විදේශීය යුවළක් බේරාගෙන ඇත.
 
රුසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවුරුදු 23 සහ 20 වයස්වල පසුවන මොවුන් දෙදෙනා මිරිස්ස වෙරළ තීරය ආසන්නයේ මුහුදේ ස්නානය කරමින් සිටියදී මුහුදු රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රදේශයේ පැවති රළු මුහුදු තත්ත්වයද නොතකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග නිසා දියේ ගිලෙමින් සිටි විදේශිකයන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකි විය.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව ඔවුන්ගේ ගලවා ගැනීමේ මෙහෙයුම් මගින් මේ වන විට විදේශිකයන් 762 දෙනෙකු ඇතුළුව ජීවිත 1,770 ක් බේරාගෙන ඇත.