ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් බීජ බෝම්බ හෙළයි

ඔක්තෝම්බර් 31, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වත්තේගම, කැබිලිත්ත රජයේ රක්ෂිතයට බීජ බෝම්බ ලක්ෂයක් (100,000) පමණ පසුගියදා (ඔක්තෝබර් 29) හෙළන ලදී.

රක්ෂිත වනාන්තරයේ අක්කර 80ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි බීජ බෝම්බ හෙළීම සිදුකර ඇතිබව ගුවන් හමුදා මාධ්‍ය සඳහන් කරයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදාව විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව සිදුකරනු ලබන බීජ බෝම්බ ප්‍රහාර ව්‍යාපෘතියේ හත්වැනි අදියර මෙය බව එහි සඳහන් වේ.

මෙම බීජ බෝම්බවල, කෝං (Schleichera oleosa), කො‌‌ෙහාඹ (Azadirachta indica), මයිල (Bauhinia racemose), මා දං (Syzygium cumini), සියඹලා (Tamarindus indica), මී (Madhuca longifolia), පලු (Manilkara hexandra), කුඹුක් (Terminalia arjuna), කායා (Swietenia macrophylla), බුළු (Terminalia belerica), කිතුල් (Caryota urens), මූණමල් (Mimusops elengi), කරඳ (Millettia pinnata) සහ කැටකාල (Bridilia retusa) වැනි ගස් විශේෂවල බීජ අඩංගු බව ද එහි සඳහන් වේ.

ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් ආධාරයෙන් තෝරාගත් ස්ථානයකට බීජ බෝම්බ හෙළීම සිදුකළ අතර මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ බීජ පැළවීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් රටේ හරිත ආවරණය වර්ධනය වීමට උපකාරී වේ.