රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා කෘත්‍රිම පාද, කෘත්‍රිම අත් සහ සායනික සපත්තු ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

නොවැම්බර් 03, 2022

රණක්ෂිතයට පත්ව දිවයින පුරා විසිරී සිටින රණවිරුවන්  සඳහා රු.මිලියන 51කට අධික මුදලක් වැය කර  සකසන ලද කෘත්‍රිම පාද 378ක්, වැලමිටින් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 04ක්, සාමාන්‍ය කෘත්‍රිම අත් 6ක් සහ සායනික සපත්තු 25ක් රණවිරුවන් වෙත ලබාදීම සදහා දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීම රණවිරු සේවා අධිකාරියේ දී අද (නොවැම්බර් 03) සිදු කරන ලදී.

2021 වසර සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම සහායක උපකරණ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ හා  දිස්ත්‍රික් නිලධාරීන්  මගින් රණවිරුවන් වෙත ලබාදීම නිල වශයෙන් සංකේතවත් කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ වයි.එස්.ඩී යාපා රණවිරුවා වෙත දණහිසට ඉහළ Advance Knee Joint වර්ගයේ කෘත්‍රිම පාදයක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ මූලිකත්වයෙන් ප්‍රදානය කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික),  පළාත්, පසු උවටැන සහ විශේෂ ව්‍යාපෘති අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිළධාරිනී නෙත්මි ගයත් ශ්‍රී  ද  මෙම අවස්ථාව  සඳහා සහභාගි විය.